Tuesday, 8 November 2016

මම, ඔයාට.....

මම, ඔයා හිනාවෙනවද අඬනවද කියල ඇහුවේ නෑ
ඔයාව හිනස්සන්න ආදරේ කලා
මම, ඔයා සතුටින්ද දුකින්ද කියල ඇහුවෙ නෑ
ඔයාව සතුටින් තියන්න ආදරේ කලා
මම, ඔයාගෙ ලෝකෙ ලස්සනයිද, කැතයිද කියල ඇහුවෙ නෑ
ඔයාගෙ ලෝකෙ ලස්සන කරන්න ආදරේ කලා
මම, ඔයා මට ආදරෙයිද නැද්ද කියල ඇහුවෙ නෑ
ඔයාට ආදරේ කලා

Wednesday, 28 September 2016

උඹලට මතක තනියට කවි කියපු එකෙක්
තනියට මතක කවියට පණ දීපු එකෙක්
කවියට මතක පද හතරක් ලියපු එකෙක්
පදයට මතක ඇය හා පෙම් බැඳපු එකෙක්

හිත යට තියෙන දුක ගැන කවි කියපු එකෙක්
හෙමිහිට ඇවිත් හඬ ලා දුක විඳපු එකෙක්
ඇඳයට තියෙන කවි ඇදලා ගනිපු එකෙක්
ලියුවට මොකද කවි පද ගැන දන්න එකෙක්
 
හරියට ලියනවා නම් කවි පද ගොතලා
හෙමිහිට විඳිනවා නම් ඒ පද කියවා
යවහන් දෝස නැතිනම් කෙලවර රැඳිලා
මොකටද උඹට කවි පද නැති රස විඳලා


Monday, 16 May 2016

ඇය පැන ගිය හැටි..................

හද්දා පිටිසරම ගම්මානයක කොනේ
හැදුනා ඇගේ දුක්බර වූ තරුණ යුගේ
ගම්මානයට ආ ගිය උන් හැමගෙ සිතේ
බැඳුනා රන් තොරණ් අත මුදු ලන්න ඇගේ

නගරෙන් ආව හැඩරැව ඇති කොල්ලාට
මව්ටත් හොරෙන් බහ දුන්නා නොකියාම
හිරුටත් කලින් පොදි බැඳගෙන රෙදිහේම
ලන්දෙන් පැන්න හැටි දන්නේ නුඹ නේද?

කැන්දන් යන්න ආවත් මහ නිලමේලා
පින්වත් රුවක් ඇති මුදලිගෙ මල්ලීලා
රන්වන් මාල ගෙල බැඳගෙන හැඩ වීලා
දුන්නෙන් මිදුනු හීයක් මෙනි ගියෙ පෝදා


රන්වන් කරල් හිරු එලියෙන් නැහැවෙද්දී
යන්තම් හොරෙන් පිණි තණ අග ගිලිහෙද්දී
කණු මුදුනේ ගම් කුකුලා හඬලද්දී
අම්මා දන්නෙ ගෙයි ලිප ගිණි මෙලවෙද්දී