Showing posts with label පෙමින් ලියන ආදර කවි. Show all posts
Showing posts with label පෙමින් ලියන ආදර කවි. Show all posts

Sunday, 20 April 2025

මගේ තනියට...

මගෙත් එක්කම ඇවිද යන දා...

නුඹ,

එදා,

නුඹත් එක්කම

හිරුත් හිටියා...

සඳුත් හිටියා...

සඳේ තනියට

තරුත් හිටියා...

අද,

මගේ තනියට

හිරුත් නෑ...

සඳුත් නෑ...

තනි රැකපු ඒ තරුත් නෑ...

හැමදාම ලඟ

මාත් එක්කම ඇවිද ගිය

හේමලයත් යන්නම ගිහින්...

අඩුම ගණනේ නුඹට තිබුනා...

අතැර යන්නට ඔහු

මගේ තනියට...

Saturday, 19 April 2025

රන්කඳ නුඹයි මා සිත මට අහිමි කල

වරකදි නුඹට මා පෙම් කල අතීතය
සිහිවන විටදි කඳුලැලි ඇයි නෙතු අගට
මන්දාරමක හිස් අහසම බලාගෙන
නුඹ සිහි කරමි මතු භවයක පතාගෙන

ලංවී මෙමට අත් පටලා ගිය අයුරු
මිමිණූ වදන් පෙම් මදිරා රස මියුරූ
නා දලු දෙතොල් අඩ සඳ නලලත සිඹපූ
අමතක කරනු කොහොමද හද ගැහෙන තුරූ

නිල් නෙතු නුඹේ සිහිනෙන් මා සනසවන
හිස අත ගා තවමත් පෙම් බස් දොඩන
ඉඳහිට මගේ හිත පතුලේ රිදුම් දෙන
රන්කඳ නුඹයි මා සිත මට අහිමි කල

Tuesday, 8 October 2024

තනියට.....


 

නුඹට ලියන

නුඹෙම ලඟ එක දවසක
ලඟින් ඉඳගෙන සවසක
දෑත් පටලා හීනෙක
ඇවිද යන්නට එනවද
මගේ මියැදුන ප්‍රේමෙට
පණ දුන්නු නුඹේ මදහස
මෙයින් මතු හැම දිනයක
මටම විතරක් දෙනවද

Monday, 16 September 2024

මගේ මතකෙට තදින් ගුලිකර මහවැලියටම දමාපන්

රුවන් පුරයක කිරුලු පලඳින රැජිණ නුඹමද කියාපන්
හිතේ පූදින ප්‍රේම සිතිවිලි මගෙම විතරද කියාපන්
එදා වගෙ අද ලඟන් හිඳගෙන උරතලේ හිස හොවාපන්
විඩෙන් විඩ නුඹ මගේ ගැන කියු පෙම් කවිය අද කියාපන්

නා දල්ලෙ රස තවම එහෙමද ආයෙමත් මට කියාපන්
එදා පුරහඳ තවම එහෙමම මගේ අහසට පායපන්
සුසිඳු ලැමැදේ හිස තියාගෙන මගෙම හිත අද සනසපන්
හෙමින් ඈතිට යන්න යන නුඹ මතක පොත මගෙ පුරවපන්

ලවන් සනසපු සුමුදු වදනින් මුමුණාපු කවි තෝරපන්
මුර කපොලු බිඳ හෙමි හෙමින් ලියු මතක පොත තුල හොවාපන්
අලුත් ලොව තුල කිරුලු පළඳින දිනයෙදිම හිත තද කරන්
මගේ මතකෙට තදින් ගුලිකර මහවැලියටම දමාපන්

Thursday, 27 June 2024

සදා මගෙම වෙනවද මගෙ පෙම්වන්තී

 

හෙටත් උදේ රන් හිරු රැස් පායද්දී
තුදුස් මසක් අප හමු වී ගත වෙද්දී
එදත් වගේ අත් පටලා ගෙන යද්දී
සදා මගෙම වෙනවද මගෙ පෙම්වන්තී

Thursday, 18 April 2024

නුඹටම.....

ඉමක් කොනක් නැති සංසාරේ
පෙර එක දිනයක අප හමු වී ඇති
කිසිවක් නොදොඩා නොම විමසා
අද අප හමු වූ ඔය නොතු මා නෙතු
පුරුදු ඇතැයි පෙර සංසාරේ
මා පමණක්ම ද දැන සිටියේ
නිසලව නිහඬව සිටි මාගේ සිත
අවදිව නුඹ ගැනමයි ඇසුවේ
මේ භවයේදිත් අහිමිව ගොස් අද
කඳුලුම පමණයි ඉතිරි කලේ
සිතින් දරාගෙන දුරින් බලාගෙන
සිටිමුත් මා සිත හැඬවූයේ
ප්‍රේමය දුරකය නුඹ නොදැනීමය
අවිවේකී සිත ලතැවූයේ



Monday, 4 July 2022

දෙනුවන් අමතා....

දෙනුවන් අමතා කතා කලා
හදවත ගොලු වී නොකී කතා
අද පමණක් හමුවන බව දැනිලා
මටත් හොරෙන් ඇහි පිය තෙමිලා...
මටත් හොරෙන් ඇහි පිය තෙමිලා...

පෙර අප දෙදෙනා හමු වී රිසිසේ
අත් පටලා ඇවිදන් ගිය මාවතෙ
නුඹේ මතකයන් සිරකර තියලා
සෙවනැලි පමණක් ඉතිරි වෙලා...
සෙවනැලි පමණක් ඉතිරි වෙලා...

යසෝධරාවක් ලෙස නුඹ දැකලා
සසර පුරා ඉන්නයි පැතුවේ
මෙතැකැයි කියලා නිමකරනට බැරි
දුකකයි අප අද තනි වූයේ...
දුකකයි අප අද තනි වූයේ...

Thursday, 19 May 2022

සොඳුරු අප්සරා

හද කොහේ හරි තැනක නිදනවා ඇති
නුඹ කොහේ හරි තැනක හිඳිනවා ඇති
අපි අපේ ගැන හිතෙන් හිතනවා ඇති
මතු මගේ හද නුඹම පතනවා ඇති

ලං වෙන්න දෙහද හෙමි හෙමින් ඉකි ගසා
පෙම් කරන හැටි ලඟින් හිඳ හෙමින් දොඩා
මියුරු පෙම් වදන් තුල වෑහෙමින් නුරා
නුඹයි මගෙ හද අරණෙ සොඳුරු අප්සරා

රනින් කල රුවක් මෙන් මගේ හද මැදුරෙ
වෙලා මහ රැජිණි සෙමින් ඉඟි මැරුවෙ
ටිකක් ඇහුනොත් මගේ ප්‍රේමයේ සද්දෙ
මටත් රජ වෙන්න හැකි ඔබගෙ හද මැදුරෙ

Friday, 6 May 2022

අන්සතුයි ...!

මගේ හිත පතුලේම
වලදාපු නුඹේ රුව
ඇගෙ එක සිනාවක්
මතක් කල අපූරුව
බස් එකේ ජනේලෙන්
නොපෙනෙනා ඉමක් වෙත
ඉගිල්ලුන නුඹේ සිත
මුවේ එක සිනාවක්
වතේ ලොකු කතාවක්
ඉතිරි කර ගිහිල්ලා
මහ සෙනඟ අස්සේ
විටින් විට දුටුව හැටි
මගෙ හිතේ මතකයෙන්
තවම නෑ මැකීලා
ප්‍රේමයෙන් බැඳෙන්නට
පින් තිබුනෙ මගෙ හිතට
විතරමයි නුඹේ ලඟ
ගොලුයි මම අදටත්
ඇගේ ලඟ උනත් මට
දැනෙන්නේ නුඹ ලඟදි
දැනුන ඒ විදියමයි
කුමක් කරනිම් ද මම
ඇයත් නුඹ වාගෙමයි
වෙනසකට ඇත්තේ
මමත් නුඹ වාගෙමයි
.......
අන්සතුයි... !

Saturday, 26 March 2022

සිඹිනු බැරි දෙතොල

දිගු දෑස ක්ෂිතිජයේ 

පුරා එහෙ මෙහෙ දුවන

කෙහෙරැල්ල සුළං රැලි

වැදී එහි මෙහි රඟන 

හසරැල්ල සදා මා

හිත පුරාවට දවන

සුර අඟන දෙව්ලොවින්

බිමට වැඩියේ මොටද

හිතේ කෙලවර තැනක

අගුළු ලා සිර කරපු

ප්‍රේමයෙන් බිඳී ගිය

හැඟුම් පොදියේ තැනක

ඉඟියකින් ස්පර්ශ

කරපු ඒ ඇසිල්ලට

සුවපත්ව ගිය අයුර

සදාකාලික වැනිය

දෙඅත් පටලා ගනිපු

ඇඟිලි තුඩු කලබල ය

දෙනෙත් හරඹය නුඹගෙ 

හද පුරා විනිවිද ය

හෙටත් මට අභිමුඛව

දකින්නට හැකිවෙයි ද

සිඹින්නට බැරි නුඹගෙ

නා දල්ල වැනි දොතොල

Wednesday, 26 May 2021

පෝය දා සද මෙන්ම...

සඳ  එලිය වසාගෙන

අඩත්තෙට්ටම් කරන

වලාකුලු දෙක තුනක්

අහස් කුස පුරාවට

කලු කබා පොරවගෙන

දෑත් අල්ලාගෙනම

සොල්දාදුවන් මෙන්

රජ කුමරියක රකින

සඳට මා නොපෙනෙන්න

වසා රැක ගන්නට

තැත් කරන අපූරුව

පෝය දා සඳ එලිය

පවුරු වලලු අතරින්

වලාකුලු රැකවලුනගෙ

කබා රැලි අතරින්

විටින් විට හෙමි හෙමින්

එබිකම් කරන හැටි

නුඹගෙ පෙම වාගේම

Tuesday, 9 June 2020

මා දුටුව දෙවඟනට...

දිගු දෑස ක්ෂිතිජයේ
පුරා එහෙ මෙහෙ දුවන
කෙහෙරැල්ල සුළං රැලි
වැදී එහි මෙහි රඟන
හසරැල්ල සදා මා
හිත පුරාවට දවන
සුර අඟන දෙව්ලොවින්
බිමට වැඩියේ මොටද
හිතේ කෙලවර තැනක
අගුළු ලා සිර කරපු
ප්‍රේමයෙන් බිඳී ගිය
හැඟුම් පොදියේ තැනක
ඉඟියකින් ස්පර්ශ
කරපු ඒ ඇසිල්ලට
සුවපත්ව ගිය අයුර
සදාකාලික වැනිය
දෙඅත් පටලා ගනිපු
ඇඟිලි තුඩු කලබල ය
දෙනෙත් හරඹය නුඹගෙ
හද පුරා විනිවිද ය
හෙටත් මට අභිමුඛව
දකින්නට හැකිවෙයි ද
සිඹින්නට බැරි නුඹගෙ
නා දල්ල වැනි දොතොල

Saturday, 14 December 2019

මම දීපු ආදරය ඒ හැමට යට ඇතී

දුර ඈත නුඹ නුඹෙ ම ලෝකයක තනිවුනා
මම තවම හිපු තැන පිපුණු මල් පරවුනා
හිත ගාව ගුලි වෙච්චි අයුරු මට සිහිවුනා
හැමට කලියෙන් නුඹට මාව අමතක වුනා

වැහි බිංදු වැටෙන කොට කුඩේ යට තනි නැද්ද
හංදියේ මාර ගහ ලට දැන් යන් නැද්ද
පංතියේ පුටු දෙකක දොඩපු ඇස් අමතකද
පෙම් කරපු වංගියේ වැට කඩුලු දැන් නැතිද

දුර තියෙන කාරෙකේ පෙම්වතා වෙන්නැතී
අත තියෙන පොට්ටනියේ කිරිකැටිය නිදි ඇතී
කර පාලු නෑ ඒව රත්තරන් වෙන්නැතී
මම දීපු ආදරය ඒ හැමට යට ඇතී


Thursday, 20 September 2018

ඇය

රත් පැහැ දෙතොල් නිල් වරලස වසන කොට
සිහිනිඟ පුලුණුකුල නටවා දුවන කොට
වටකුරු මුහුණ දිගැස් වලින් බලන කොට
වටකොට පවුරු මොකටද හිත බැඳෙන කොට

රන්කඳ කියා ඇගෙ හිත ළඟ මුමුණන්න
පින්කඳ නුඹයි මගෙ හිත මතු සනසන්න
ඉන්නද කියා ඔබෙ නලලත සිපගන්න
ඇයි අද පමා මගෙ හදවත පවසන්න

හොරැහින් එබී බැලුවම ඇගෙ සවන් යුග
පැටලී තිබුනෙ තවෙකෙකුගේ වදන් වල
වස්තුව කියා ඔහු අමතන නුවන් යුග
දුටුවම බිඳුණෙ මගෙ හදවත උපන් පෙම

Wednesday, 3 May 2017

කවි කොලය

හිත අස්සෙ අත දාන
හොයනවා තවම මම
නුඹ නමට ලියා තැබු
කවි කොළය කොහිද නැත
බැලුවාම දුර මුල්ලෙ
මකුළුවෙකු වට කරපු
සුදු පාට දැල් අස්සෙ
අකුරු එදවස මගෙම
හෙමි හෙමිට ලංවුනත්
කවි කොලය කියවන්න
හරස් වුන මකුළුවා
තර්ජනය කලා මට
නුඹට දැන් කවි කොලය
නොහිමි බව දැනගන්න
කවිය නැති නුඹ අදට
ඇයගෙ තුරුලට යන්න

Tuesday, 8 November 2016

මම, ඔයාට.....

මම, ඔයා හිනාවෙනවද අඬනවද කියල ඇහුවේ නෑ
ඔයාව හිනස්සන්න ආදරේ කලා
මම, ඔයා සතුටින්ද දුකින්ද කියල ඇහුවෙ නෑ
ඔයාව සතුටින් තියන්න ආදරේ කලා
මම, ඔයාගෙ ලෝකෙ ලස්සනයිද, කැතයිද කියල ඇහුවෙ නෑ
ඔයාගෙ ලෝකෙ ලස්සන කරන්න ආදරේ කලා
මම, ඔයා මට ආදරෙයිද නැද්ද කියල ඇහුවෙ නෑ
ඔයාට ආදරේ කලා

Saturday, 10 October 2015

අවසර ලැබෙනකම්

තරු එක දෙක රෑ අහසේ පායද්දී
කඩුපුල් මල් සඳ එලියට පූදිද්දී
හෙමිහිට ඇවිත් නුඹ තුරුලේ ගුලිවෙද්දී
සිහිනෙක සුවය විඳිනව මම රෑ වෙද්දී

දෙමාපියන්ගේ අවසර ලැබ ගන්න
හත් දා මගුල් කා නුඹ අත ලැබ ගන්න
හිත් වේදනා නැතිවම කැන්දා යන්න
හින්දා තමයි ඉවසන්නේ හිඳ දුරින