Saturday, 10 October 2015

සදහටම.....

අහසෙ තිබෙනා තරු එකින් එක
ගනන් කරනා අතරේ
තරු අතර සැඟවිලා උන් ඔබ
නෙතු ගැටෙනවා දැනුනේ
දිනක් සතියක් රෑ අහස යට
එකම තැන නුඹ හිටියේ
මඳක් නැවතුන හින්දමයි මට
ඉකි ගසන හඬ ඇසුනේ

සඳක් පායන හින්ද අහසක
තරු එකින් එක මැකුනේ
නුඹට ආදරෙ හින්දමයි මම
සඳට පෙර ලංවූයේ
නොමැකි යන්නට නුඹේ දිළිසුම
අමාවක සඳ පැතුවේ
සඳට කියනට බැරි නිසා දොස
ලඟට නුඹ ගෙන ආවේ

හිතේ සදහට නුඹේ රුවමයි
හැ‍‍ඟෙන විට හැමවේ‍ලේ
නෙතට නිවනක් නැහැ කොහේවත්
නුඹේ රුව ලඟ වාගේ
සදාකාලෙට ආදරෙන් මගෙ
හදේ නුඹ රජ වූයේ
ඉතින් අවසර ලඟින් ඉන්නට
හොරෙන් සඳු හට මාගේ



Sunday, 15 March 2015

පෙම් කරන නුඹට........

පෙම්බස් දොඩන නුඹ ඇල වී උරහිසට
අතැඟිලි හෙමින් මිරිකාගෙන ඉන්නකොට
යන්තම් හොරෙන් එබිලා මාගේ නෙතට
මුමුණා කියයි තොල් උල් කරමින් කණට

මවුපිය කැමැත්තක් හැමදා නැති හන්දා
ආදරෙ කරන නුඹ හැමදා පැතු හන්දා
ජීවිතෙ අඳුරු කර ගන්නට බැරි හන්දා
එන පෝයට නුඹ යනවද මා කැන්දා


කන්ද දිගේ උඩටම පය තියන කොට
බතුයි පරිප්පුයි දෙවේල කැවෙන කොට
පැල තුල වැහි බිඳු එක දෙක වැටෙන කොට
අමතක වෙලා යයි පෙම් කල බව නුඹට

සතියක් දෙකක් පෙම් බස් කියමින් ඉඳපූ
වරුවක් දෙකක් ලඟ ඉඳ හිස අත ගාපූ
මිනුමක් නැතත් දෙන්නෙමි සැප යැයි කියපූ
දිනයක් කොයිද අමතක වෙයි පෙම් කරපූ


Thursday, 26 February 2015

කෝ....?

කාමරේ මුල්ලෙ
හීන පිරි මල්ලෙ
කෙලවරක පල්ලෙ
සිටිය නුඹ කෙල්ලෙ

හිතේ දුක ගැස්සේ
සොයමි නුඹ තිස්සේ
රැයේ තරු අස්සේ
වැතිරිලා බිස්සේ

කඳුළු ඇස් අස්සේ
නටනවා තිස්සේ
බිඳුනු සිත් අස්සේ
තනිවෙලා වැස්සේ


Monday, 16 February 2015

මතකයෙන්...

කවි කර ලියන මගෙ සිතුවිලි ගොන්නකට
සවි බල දෙන්න විරහව ඇති මෙහොතකට
රිවි කිරණින් නැහැවෙන හැම උදයකට
කිවිඳිය ලෙසින් ඔබ නැගුනා සිත් අගට


Monday, 9 February 2015

හායි

දවසක් එකෙක් මට එව්වා හායි කියාලා
දවසක් පසුව මම යැව්වා හායි කියාලා
දවසක් උඹට එව්වොත් ඌ හායි කියාලා
දවසක් නොයිඳ යවපන් උඹ හායි කියාලා

Thursday, 15 January 2015

01

පුන්සඳ රෑට කියවෙන කවි මලදාන
මල්මිණි සේම ඇමිණෙනවා රවිදාට
කනකලු නාද ඇහෙනා විට මල රෑට
නුඹ සිටි හැටි සිහිවෙනවා තුරුලේම

Saturday, 10 January 2015

යන දාට.... යන අයට...

වර්ණ හැඩතල සන්තකේටම හිතේ කෙලවරකට ලියා
ඇසේ කෙලවර රැඳී සිටි නුඹෙ ආදරේ ගැන කවි කියා
උපන් දා සිට අරන් ආ මගෙ කලාවේ අද තිත තියා
යන්න යනවා කර්මයේ හැටි ඇගේ පින් මහිමය කියා