Thursday, 19 May 2022

සොඳුරු අප්සරා

හද කොහේ හරි තැනක නිදනවා ඇති
නුඹ කොහේ හරි තැනක හිඳිනවා ඇති
අපි අපේ ගැන හිතෙන් හිතනවා ඇති
මතු මගේ හද නුඹම පතනවා ඇති

ලං වෙන්න දෙහද හෙමි හෙමින් ඉකි ගසා
පෙම් කරන හැටි ලඟින් හිඳ හෙමින් දොඩා
මියුරු පෙම් වදන් තුල වෑහෙමින් නුරා
නුඹයි මගෙ හද අරණෙ සොඳුරු අප්සරා

රනින් කල රුවක් මෙන් මගේ හද මැදුරෙ
වෙලා මහ රැජිණි සෙමින් ඉඟි මැරුවෙ
ටිකක් ඇහුනොත් මගේ ප්‍රේමයේ සද්දෙ
මටත් රජ වෙන්න හැකි ඔබගෙ හද මැදුරෙ

Friday, 6 May 2022

අන්සතුයි ...!

මගේ හිත පතුලේම
වලදාපු නුඹේ රුව
ඇගෙ එක සිනාවක්
මතක් කල අපූරුව
බස් එකේ ජනේලෙන්
නොපෙනෙනා ඉමක් වෙත
ඉගිල්ලුන නුඹේ සිත
මුවේ එක සිනාවක්
වතේ ලොකු කතාවක්
ඉතිරි කර ගිහිල්ලා
මහ සෙනඟ අස්සේ
විටින් විට දුටුව හැටි
මගෙ හිතේ මතකයෙන්
තවම නෑ මැකීලා
ප්‍රේමයෙන් බැඳෙන්නට
පින් තිබුනෙ මගෙ හිතට
විතරමයි නුඹේ ලඟ
ගොලුයි මම අදටත්
ඇගේ ලඟ උනත් මට
දැනෙන්නේ නුඹ ලඟදි
දැනුන ඒ විදියමයි
කුමක් කරනිම් ද මම
ඇයත් නුඹ වාගෙමයි
වෙනසකට ඇත්තේ
මමත් නුඹ වාගෙමයි
.......
අන්සතුයි... !

Saturday, 9 April 2022

අරගලය

අපෙ හිතත් කකියනව

හිතෙනවා හිටගන්න

අරගලය මැද්දෙ

නිල ඇඳුම ඉරල

බැටන් විසි කරල

තැවක්කුව මේ පැත්තෙ

බිත්තියට තියල

නමුත් මක් කරන්නද

නීතියට පිටුපාල

රස්සව මඟ ඇරල

අපිත් හිට ගත්තනම්

උඹලගේ ඔය පැත්තෙ

සෙනඟ නම් උතුරාවි

ඒත්...

අරගලය අරඹාපු

හේතුව ම මියයාවි...

 




 

Saturday, 26 March 2022

සිඹිනු බැරි දෙතොල

දිගු දෑස ක්ෂිතිජයේ 

පුරා එහෙ මෙහෙ දුවන

කෙහෙරැල්ල සුළං රැලි

වැදී එහි මෙහි රඟන 

හසරැල්ල සදා මා

හිත පුරාවට දවන

සුර අඟන දෙව්ලොවින්

බිමට වැඩියේ මොටද

හිතේ කෙලවර තැනක

අගුළු ලා සිර කරපු

ප්‍රේමයෙන් බිඳී ගිය

හැඟුම් පොදියේ තැනක

ඉඟියකින් ස්පර්ශ

කරපු ඒ ඇසිල්ලට

සුවපත්ව ගිය අයුර

සදාකාලික වැනිය

දෙඅත් පටලා ගනිපු

ඇඟිලි තුඩු කලබල ය

දෙනෙත් හරඹය නුඹගෙ 

හද පුරා විනිවිද ය

හෙටත් මට අභිමුඛව

දකින්නට හැකිවෙයි ද

සිඹින්නට බැරි නුඹගෙ

නා දල්ල වැනි දොතොල

Thursday, 25 November 2021

සිහින රුව

 සංසුන් වන මැදක සැඟවී ගලන දොල

බිඳිමින් දිය පහර ඇදිලා වැටෙන හැඩ

යන්තම් නුඹ තෙමෙන විඳිනා අයුරු දැක

සංසුන් දිය ඇල්ල වෙනවා තවත් හැඩ


වංහුං හොයන උන් ඉඳලා කැලේ මැද

සීතල දියේ පෙඟෙනා දිය රෙද්ද ඇඟ

සංසුන් ඇල්ල ලඟ දැකලා නුඹගෙ රුව

බිඳිලද කොහේ කුමරුන්ගේ බඹර සර


කලුවර වැටීලා ගොම්මන ගෙවෙන සැනින්

සඳරැස් ගලාලා තුරුපත් අතර මැදින්

වරලස ගසාලා දිය බිඳු වැටෙන හඬින්

සිහිනය බිඳීලා අහැරුණි මමද සැනින්

 











Sunday, 25 July 2021

නුඹට ආදරෙන්.....

 ඇත්තමයි මගේ හිත පුරා නුඹ දුවනවා

ආදරේ හැඟුම් මට යලි යලිත් දැනෙනවා

හීනයක් වගෙයි නුඹ මැවි මැවී පෙනෙනවා

ආදරෙයි මං නුඹට මගෙ වෙන්න පතනවා


දුරක හිටියත් මටම ලඟ බවක් හැඟෙනවා

හිතේ හිරවුන මතක එහෙ මෙහෙට දුවනවා

ලඟ හිටපු දා දැනුන සුවඳ තව දැනෙනවා

ඇත්තමයි ආදරේ හෙමින් උඩු දුවනවා


Wednesday, 26 May 2021

පෝය දා සද මෙන්ම...

සඳ  එලිය වසාගෙන

අඩත්තෙට්ටම් කරන

වලාකුලු දෙක තුනක්

අහස් කුස පුරාවට

කලු කබා පොරවගෙන

දෑත් අල්ලාගෙනම

සොල්දාදුවන් මෙන්

රජ කුමරියක රකින

සඳට මා නොපෙනෙන්න

වසා රැක ගන්නට

තැත් කරන අපූරුව

පෝය දා සඳ එලිය

පවුරු වලලු අතරින්

වලාකුලු රැකවලුනගෙ

කබා රැලි අතරින්

විටින් විට හෙමි හෙමින්

එබිකම් කරන හැටි

නුඹගෙ පෙම වාගේම