Thursday, 13 June 2013

මතු මතකෙන්.....

කවි ලිව්වේ මතකෙට නුඹ එන හින්දා
හිත හැදුවේ නුඹ මට හිමි නැති හින්දා
දුර යන්නේ ආදරෙ මම වැඩි හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා

මිතුරෙකු විලස නුඹ අමතන හැම වේලේ
දුක් ගින්නක් ඇවිලෙනවා හිත පතුලේ
ලංවී ඉඳන් ආදරේ කල ඒ කාලේ
සිහි වෙනවා නුඹ මා හැර ගිය තාලේ

ලස්සන තැනෙක ඉන්නට අප පැතුවාට
දුර යන නුඹට සමුදෙන්නට හිතුවාට
උණුසුම් වෙන්න තුරුලට මා නැතුවාට
ලැබදෙයි නුඹට රජසැප මා නැතුවාට

උරහිස මගේ නුඹ හිස කොයිදැයි සෙව්වා
නෙතු මාගේ නුඹ නෙතු කොහිදැයි සෙව්වා
සිත මාගේ නුඹ සිත කොයිදැයි සෙව්වා
තනිකම මගේ නුඹ තනිවම දැයි සෙව්වා

මතු දවසක් උදෙසා....

ලස්සන තැනෙක පොඩි නිවසක් හදාගෙන
කුඹුරෙන් ලැබුණු සහලින් බත උයාගෙන
දරුවන් දෙදෙන නිදි පැදුරේ තියාගෙන
නුඹ ඉන්නේ මම එනතුරු බලාගෙන

Tuesday, 11 June 2013

උපාධි ගන්න හිතද්දී.......

කැම්පස් පටන් ගන්නේවත් නැති හින්දා
ජීවිතෙ ගෙවිල නිකරුනේ යන ඒ හින්දා
තැන තැන දුවන හිත එකතැනකට කැන්දා
ඉගෙන ගන්න මට මෙහි බෑ නුඹ හන්දා

කළුවර තැනෙක ඉඳගෙන හඳ එලිය යට
සෙලවෙන හිතත් තැබුවා රන් විමන යට
පොත්වල තියෙන පාඩම් සැඟවිලා හෙට
හිත දුවනවා හොයලා රැකියාවකට

අම්මේ තාත්තේ ගතකල ඒ කාලේ
පාස්වෙන්න විතරයි පාඩමක් කලේ
හැකියාවන් සඟවල මගෙ හිත පතුලේ
උපාධියම ගන්නයි උත්සාහ කලේ

මාස තුනයි තව දෙසතියකින් ඔන්න
නිවාඩුවට අරුතක් කැටි කර ගන්න
ගෙවුන වසරෙ පාඩම් මතකෙට ගන්න
හිත දෙන්නෑ ඊලග වසරට යන්න

කඳුළු පිරුණු දෙනෙතින් නුඹ බලන කොට
ඉරී වැටෙන ඇඳුම් කෑලි දකින කොට
වහලෙන් වැටෙන වැහිපොද බිම තෙමන කොට
කැම්පස් යන්නෙ කොහොමද දුක් විඳින කොට

අවුරුදු තුනක් වෙනුවෙන් නුඹ ගත්තු ණය
සියල්ල අවසන්ය ඉතිරිය මගෙ පණය
ඉරුණු කමීසය කලිසම පරණය
මොනව කරන්නද මට උරුම මරණය


Wednesday, 5 June 2013

රිදුම් දෙන හිතට



අමතකව නැති මතක ගොන්නක් අගුළු දාලා යටි ........... හිතේ
මතකයේ ගිනි නිවෙන්නට මම අඟුරු දාලා උඩු ............. හිතේ
දැවෙන ගින්නක් නිවන්නට වෙර දැරුව හින්දා පෙම් ..... හිතේ
තවම රිදෙනා කැලැල් නම් ඇත පිලිස්සී ගිය මගෙ ......... හිතේ

Tuesday, 4 June 2013

ඔයා ලඟ

හිතේ තනිවුන පෙමක් මැදිකල
ආදරේ මුල් පිටු තුනේ
නුඹේ නම ඇති මගේ නම නැති
තැනක් තිබුණා අන්තිමේ
හිතේ ලඟ ඇති මගේ ලඟ නැති
නුඹේ හදවත නැවතුනේ
ආදරේ නැති ජීවිතේ ඇති
කෙනෙකු ලඟ ඇති මහමඟේ

Thursday, 23 May 2013

සංසාරයේ පැතූ ලෙසින්

සංසාරයේ හැටි
අපව වෙන්කල
දෛවයක සරදම
ඇයිද මේ තනිකල
නිහඬ නෙතු යා කල
දිනෙක අප හමුවුන
අහඹුවක අරුමය
ඇයිද හද යාකල
කෙලෙස අද දුරකද
ගතින් සිත වෙන් කරන
නැතිද නුඹේ සිත තාම
දන්නෙ මගෙ ආදරය
කඳුල හිමි නෙතු අගට
වන්න වියලන කතර
වියලාපු හදට නුඹ
වන්න ආදර වැස්ස
සත්තකයි දිනෙක මතු
එක්වේවි මා එක්ක
සංසාරගත බැඳුම
සපත කර මුළු ලොවට

Sunday, 19 May 2013

නුඹ එක්ක.....

වෙසක් පෝය දා හවසට
ඔයත් එක්ක හනි හනිකට
ගමේ පන්සලේ මළුවට
හිතෙනව මට ඇවිදින්නට

අරන් ගියපු මල් දහයම
පූජ කලා අපි බුදුන්ට
එකට ඉඳන් පැතුවේ අපි
නිවන් දකින්නට මතුවට

එළිය බෙදන පහන් වැටේ
ඇවිද ගිහින් මළුව වටේ
පත්තු කරපු පහන් දෙකේ
එළිය පේනවාද නඟේ

වැටිලා හඳ එලිය නුඹේ
එක්වුනාම සිනා මුවේ
එලියයි මට වෙනද වගේ
නොවෙයි පිරිල සතුට හිතේ