Monday, 16 May 2016

ඇය පැන ගිය හැටි..................

හද්දා පිටිසරම ගම්මානයක කොනේ
හැදුනා ඇගේ දුක්බර වූ තරුණ යුගේ
ගම්මානයට ආ ගිය උන් හැමගෙ සිතේ
බැඳුනා රන් තොරණ් අත මුදු ලන්න ඇගේ

නගරෙන් ආව හැඩරැව ඇති කොල්ලාට
මව්ටත් හොරෙන් බහ දුන්නා නොකියාම
හිරුටත් කලින් පොදි බැඳගෙන රෙදිහේම
ලන්දෙන් පැන්න හැටි දන්නේ නුඹ නේද?

කැන්දන් යන්න ආවත් මහ නිලමේලා
පින්වත් රුවක් ඇති මුදලිගෙ මල්ලීලා
රන්වන් මාල ගෙල බැඳගෙන හැඩ වීලා
දුන්නෙන් මිදුනු හීයක් මෙනි ගියෙ පෝදා


රන්වන් කරල් හිරු එලියෙන් නැහැවෙද්දී
යන්තම් හොරෙන් පිණි තණ අග ගිලිහෙද්දී
කණු මුදුනේ ගම් කුකුලා හඬලද්දී
අම්මා දන්නෙ ගෙයි ලිප ගිණි මෙලවෙද්දී

Tuesday, 17 November 2015

දුම්රියේ සිඟිත්තා

දුම්රියේ මහ සෙනඟ අතර සිටිනා විටෙක
තරුණියක දුටිමි මම ලමැද බැඳි පොට්ටනිය
කෙමෙන් ලං වෙද්දි ඇය දුටිමි අත් පා සතර
සිඟිති බිලි‍ෙඳෙකි ඇයගෙ හොවාගෙන පපුවතුර

ගැටෙන විට ඇගේ රුව අමතකයි අතීතය
අසුන්ගත් මහා ගස් සිටී නොදකින ලෙසට
සැනෙක හිස්වෙන අසුන ලඟම පරවුන මුහුණ
දකින විට මගේ හද නැවතුනා මෙහොතකට

නුඹේ මව් නුඹ එක්ක විඳපු දුක නොදන්නෙද
අසාපන් අදම නුඹ සිටී නම් ජීවත්ව
කියාපන් හිතුන හැටි අසුන නැති වෙන කොටම
සත්තකයි නවතීවි ඇගේ හද සදහටම

ජාතියක් වර්ගයක් නොසොයනා සිඟිති ඇස්
කරකුනා සතර අත හිනැහුනා ලොව සමඟ
විඩාබර සිත් වලට සෙනේබර සිනාවක්
එක්කලා වතාවක් මගේ හිත පුරාමත්

හති වැටුන යකඩයා වුනත් එක වතාවක්
හැරී බැලුවා සිඟිත්තා-මව්ගෙ සිනාවන්
නෙතට උනනා කඳුලු වුනත් එක වතාවක්
මතක් කෙරුවා සැමට උනුන්ගේ මව්න්වත්
 

Monday, 12 October 2015

රටකට ‍මොහොකටද මෙච්චර ඇමතිවරූ


ඡන්දය එද්දී එනවා නිවසක් ගානේ
ඡන්දය දිනන දා රටටම ජය පානේ
ඡන්දය අවසාන වුන පසු ගිය පාරේ
ඡන්දය තිබුනාද මතකෙත් නැහැ රාලේ

පස්සෙන් ගියපු උන් තෝරා බෙදන කොට
නින්දෙන් වුනත් ඇරෙනවා පෙනෙන කොට
මන්දෙන් බෙල්ල හිර කරලා මැරෙන කොට
යන්තන් මතක් වුනෙ ඡන්දෙදි වුන ගැහැට

ඉඩකඩ අරන් මහපාරේ දුවන යුරූ
බඩකට පුරවන්න වියදම් ගොඩක් දැරූ
ඉඳ හිට රටට වැඩ ඩිංගක් කරන හොරූ
රටකට මොහොකටද මෙච්චර ඇමතිවරූ

වරුවක දෙකක වැඩ අවුරුදු ගනන් කෙරූ
දවසක දෙකක වැඩකින් ලොකු මුදල් ගැරූ
සවසට ඇවිත් මත් වී රට වෙනස් කෙරූ
රටකට ‍මොහොකටද මෙච්චර ඇමතිවරූ

Saturday, 10 October 2015

අවසර ලැබෙනකම්

තරු එක දෙක රෑ අහසේ පායද්දී
කඩුපුල් මල් සඳ එලියට පූදිද්දී
හෙමිහිට ඇවිත් නුඹ තුරුලේ ගුලිවෙද්දී
සිහිනෙක සුවය විඳිනව මම රෑ වෙද්දී

දෙමාපියන්ගේ අවසර ලැබ ගන්න
හත් දා මගුල් කා නුඹ අත ලැබ ගන්න
හිත් වේදනා නැතිවම කැන්දා යන්න
හින්දා තමයි ඉවසන්නේ හිඳ දුරින

නම් නැති කවි

සාලය මැද්දෙ නුඹ ගැන හිතමින්ම හිඳී
කාලය කොහිද සොයලා මට ගන්න බැරී
තාලය නැතුව මට නම් කවි ලියනු බැරී
කාලය නවතන්න විලංගු දමනු බැරී

සදහටම.....

අහසෙ තිබෙනා තරු එකින් එක
ගනන් කරනා අතරේ
තරු අතර සැඟවිලා උන් ඔබ
නෙතු ගැටෙනවා දැනුනේ
දිනක් සතියක් රෑ අහස යට
එකම තැන නුඹ හිටියේ
මඳක් නැවතුන හින්දමයි මට
ඉකි ගසන හඬ ඇසුනේ

සඳක් පායන හින්ද අහසක
තරු එකින් එක මැකුනේ
නුඹට ආදරෙ හින්දමයි මම
සඳට පෙර ලංවූයේ
නොමැකි යන්නට නුඹේ දිළිසුම
අමාවක සඳ පැතුවේ
සඳට කියනට බැරි නිසා දොස
ලඟට නුඹ ගෙන ආවේ

හිතේ සදහට නුඹේ රුවමයි
හැ‍‍ඟෙන විට හැමවේ‍ලේ
නෙතට නිවනක් නැහැ කොහේවත්
නුඹේ රුව ලඟ වාගේ
සදාකාලෙට ආදරෙන් මගෙ
හදේ නුඹ රජ වූයේ
ඉතින් අවසර ලඟින් ඉන්නට
හොරෙන් සඳු හට මාගේ



Sunday, 15 March 2015

පෙම් කරන නුඹට........

පෙම්බස් දොඩන නුඹ ඇල වී උරහිසට
අතැඟිලි හෙමින් මිරිකාගෙන ඉන්නකොට
යන්තම් හොරෙන් එබිලා මාගේ නෙතට
මුමුණා කියයි තොල් උල් කරමින් කණට

මවුපිය කැමැත්තක් හැමදා නැති හන්දා
ආදරෙ කරන නුඹ හැමදා පැතු හන්දා
ජීවිතෙ අඳුරු කර ගන්නට බැරි හන්දා
එන පෝයට නුඹ යනවද මා කැන්දා


කන්ද දිගේ උඩටම පය තියන කොට
බතුයි පරිප්පුයි දෙවේල කැවෙන කොට
පැල තුල වැහි බිඳු එක දෙක වැටෙන කොට
අමතක වෙලා යයි පෙම් කල බව නුඹට

සතියක් දෙකක් පෙම් බස් කියමින් ඉඳපූ
වරුවක් දෙකක් ලඟ ඉඳ හිස අත ගාපූ
මිනුමක් නැතත් දෙන්නෙමි සැප යැයි කියපූ
දිනයක් කොයිද අමතක වෙයි පෙම් කරපූ