Sunday, 20 April 2025

මගේ තනියට...

මගෙත් එක්කම ඇවිද යන දා...

නුඹ,

එදා,

නුඹත් එක්කම

හිරුත් හිටියා...

සඳුත් හිටියා...

සඳේ තනියට

තරුත් හිටියා...

අද,

මගේ තනියට

හිරුත් නෑ...

සඳුත් නෑ...

තනි රැකපු ඒ තරුත් නෑ...

හැමදාම ලඟ

මාත් එක්කම ඇවිද ගිය

හේමලයත් යන්නම ගිහින්...

අඩුම ගණනේ නුඹට තිබුනා...

අතැර යන්නට ඔහු

මගේ තනියට...

Saturday, 19 April 2025

රන්කඳ නුඹයි මා සිත මට අහිමි කල

වරකදි නුඹට මා පෙම් කල අතීතය
සිහිවන විටදි කඳුලැලි ඇයි නෙතු අගට
මන්දාරමක හිස් අහසම බලාගෙන
නුඹ සිහි කරමි මතු භවයක පතාගෙන

ලංවී මෙමට අත් පටලා ගිය අයුරු
මිමිණූ වදන් පෙම් මදිරා රස මියුරූ
නා දලු දෙතොල් අඩ සඳ නලලත සිඹපූ
අමතක කරනු කොහොමද හද ගැහෙන තුරූ

නිල් නෙතු නුඹේ සිහිනෙන් මා සනසවන
හිස අත ගා තවමත් පෙම් බස් දොඩන
ඉඳහිට මගේ හිත පතුලේ රිදුම් දෙන
රන්කඳ නුඹයි මා සිත මට අහිමි කල

මල දරු උපත්

දන්නවද හදවතක උපදින්න

වෙර දරන ප්‍රේමයක්

මතු දිනක ලෝකයකම

සතුටු කරවන දෙයක්

ජීවිතේ ලස්සනම

දවසකට හීනයක්

හපොයි! මහ කරුමයක්

ඒක...

මල දරු උපතක්

Friday, 13 December 2024

අන්නේකයි....!

ගියපු රැල්ලට..

බුදුනුත්...

කතා ඇහුවනම්...

පස්වග මහණුන්ගේ...

අද..

ගෞතම නෙවෙයි...

තාමත් සිද්ධාර්ථ...

Thursday, 17 October 2024

නුඹට කී රහස

සඳ හැකිනම් කියාපන්
මං කීව රහස
සඳ එලිය විදියට ගිහින්
රහසින්ම ඇයට...
ඇය දන්නවා ඇයට වග...
පණිවිඩය..
ඒත් නෑසුනා සේ ඉඳීවි...
නමුත්, අසා ඉඳපන්
ඇගේ හදවත හෙමින් කොඳුරාවි
මා කී දෙයම රහසක් ලෙසට..
තද කර හිඳීවි හිතේම
ඒ අපූරු රහස

Tuesday, 15 October 2024

වචන....

වචන,
මිනිස්සු අඬවනව
ඒ වචනම
මිනිස්සු මරවනව
සමහර තැනක
මරව මරව ජීවත් කරවනව
ඒ වචන වලටම පුලුවන්
මැරෙන නොමැරෙන
ජීවිතයක් ජීවත් කරවන්න
අඬන මිනිස්සු හිනස්සන්න
එකම එක වචනයකින්
ජීවිතේම රිදවන්න
නොහිතාම කීවත්
සමහර කෙනෙක්ගෙ
හදවත පතුලේම රිද්දන
හරිම පුදුමයි මේ වචන
අදත්,
මාව අඬවන, මරවන,
ආයෙ ආයෙත් ජීවත් කරවන
වචන.....

Tuesday, 8 October 2024

තනියට.....


 

නුඹට ලියන

නුඹෙම ලඟ එක දවසක
ලඟින් ඉඳගෙන සවසක
දෑත් පටලා හීනෙක
ඇවිද යන්නට එනවද
මගේ මියැදුන ප්‍රේමෙට
පණ දුන්නු නුඹේ මදහස
මෙයින් මතු හැම දිනයක
මටම විතරක් දෙනවද

Monday, 16 September 2024

මගේ මතකෙට තදින් ගුලිකර මහවැලියටම දමාපන්

රුවන් පුරයක කිරුලු පලඳින රැජිණ නුඹමද කියාපන්
හිතේ පූදින ප්‍රේම සිතිවිලි මගෙම විතරද කියාපන්
එදා වගෙ අද ලඟන් හිඳගෙන උරතලේ හිස හොවාපන්
විඩෙන් විඩ නුඹ මගේ ගැන කියු පෙම් කවිය අද කියාපන්

නා දල්ලෙ රස තවම එහෙමද ආයෙමත් මට කියාපන්
එදා පුරහඳ තවම එහෙමම මගේ අහසට පායපන්
සුසිඳු ලැමැදේ හිස තියාගෙන මගෙම හිත අද සනසපන්
හෙමින් ඈතිට යන්න යන නුඹ මතක පොත මගෙ පුරවපන්

ලවන් සනසපු සුමුදු වදනින් මුමුණාපු කවි තෝරපන්
මුර කපොලු බිඳ හෙමි හෙමින් ලියු මතක පොත තුල හොවාපන්
අලුත් ලොව තුල කිරුලු පළඳින දිනයෙදිම හිත තද කරන්
මගේ මතකෙට තදින් ගුලිකර මහවැලියටම දමාපන්

Thursday, 15 August 2024

වැස්ස

වැස්ස...

ඉවසපන් ඩිංගක්

අපි ගෙදර යනකන්...

ඉන්පස්සේ වැහැපන්

ඕනනම්...

ඇල වේලි උතුරන්න...

Thursday, 27 June 2024

සදා මගෙම වෙනවද මගෙ පෙම්වන්තී

 

හෙටත් උදේ රන් හිරු රැස් පායද්දී
තුදුස් මසක් අප හමු වී ගත වෙද්දී
එදත් වගේ අත් පටලා ගෙන යද්දී
සදා මගෙම වෙනවද මගෙ පෙම්වන්තී

Wednesday, 26 June 2024

හැඟීමක්....

අප පෙර හමුවී ඇති බව
නුඹ මා  මා හමුවූ පසුව දැනෙන්නේ
මෙවන් වසන්තයක්, මෙවන් සෘතුවක්
ඒ දවස තිබුණා සේ
මෙය දෛවය දෝ, මෙය මාවත දෝ
දෙහදක් ඒක ලෙස යාවෙන්නේ
කුමක් කියන්නද
ඔබ මා පෙර දා  හමු වී ඇති බව
නුඹ මා හමුවූ පසුව දැනෙන්නේ

Thursday, 13 June 2024

එය ප්‍රේමයම දැයි නොදනිමි....!

මගේ සිත් සයුරට නුඹේ ඔය බැල්ම...

අයිස් කැටයක් වගේ වැටුනට...

පාවෙන්නේ දියවෙන්නේ නැතිවම...

ගිලා බැස්ස හද පතුලටම...

හෙන දාර කලු ගලක් වගේම...

ගොඩ ගන්න ඕනම වුනත්...

බැරිව ලතැවෙන්නේ...

කරුමෙට...

මට කිමිදෙන්න බැරි නිසා...

මගේම හද පතුලට...

Friday, 3 May 2024

යන්න අවසර

බිඳුණු ප්‍රේමය නුඹගෙ මතකය
නිරන්තර මට වේදනා දෙන
හීන එක දෙක මුමුණාවි මට
නුඹ මගෙම බව සදාතනිකව
මිරිඟුවකි නුඹ නුඹම කී විට
කඳුලු නෙතු අග මිහිතලය සිඹ
තද කරන් හිත වේදනා දෙන
ඉතින් අවසරද යන්න මට දුර
ඉතින් අවසරද යන්න මට දුර

Thursday, 25 April 2024

වැලලූ ආදරය

ඉඳහිට හොරෙන් මගෙ සවනට මුමුණාපූ

පෙම් කවි කොහිද මගෙ හදවත සනසාපූ

හිත්වල රැඳුනු ආදරයකි වලදාපූ

මේ ලොව විෂය අප දෙපසට ඇදදාපූ

Thursday, 18 April 2024

නුඹටම.....

ඉමක් කොනක් නැති සංසාරේ
පෙර එක දිනයක අප හමු වී ඇති
කිසිවක් නොදොඩා නොම විමසා
අද අප හමු වූ ඔය නොතු මා නෙතු
පුරුදු ඇතැයි පෙර සංසාරේ
මා පමණක්ම ද දැන සිටියේ
නිසලව නිහඬව සිටි මාගේ සිත
අවදිව නුඹ ගැනමයි ඇසුවේ
මේ භවයේදිත් අහිමිව ගොස් අද
කඳුලුම පමණයි ඉතිරි කලේ
සිතින් දරාගෙන දුරින් බලාගෙන
සිටිමුත් මා සිත හැඬවූයේ
ප්‍රේමය දුරකය නුඹ නොදැනීමය
අවිවේකී සිත ලතැවූයේ



Saturday, 30 March 2024

හිමි නොවන ප්‍රේමයක්...

නුඹේම ඇස් තාම
මගේම හිත අස්සෙ
නුඹ දන්නව මගෙ හිත ගැන
තාමත් නිහඬ උනාට
නුඹම කියද්දි නුඹේ හිත
වෙනකෙකු ලඟ බව
මම කොහොමද බිඳින්නෙ
නුඹේ පෙම
හිඳිමි නිහඬව
දුරින් හිඳගෙන
හිමිවේය පතාගෙන
හිමි නොවන ප්‍රේමයක්...